Saturday, September 24, 2011

උදාරි පුංචි කාලේ හරිම දග කෙල්ලෙක්


එදා වුණු ඒ සිදුවීම මට මේ දැන් වුණා වගේ මතකයි. අපේ පුංචි දෝණි කොට්ටයේ උණුසුමට තුරුළු වෙලා හොඳටම නිදි. හරියට පුංචි සුරංගනාවියක් වගේ. එදා මම දැක්ක රෝස පාට කම්මුල් දෙක මට අද වගේ මතකයි. එයාගේ සුදු මූණ දිහා බලාගෙනම මම කල්පනාවකට වැටුණා.

හදිස්සියේම ඇහුණු දෝණිගේ ඇඬිල්ලට තමයි මගේ දැහැන බිඳුණෙ. මගේ හදවත කීරි ගැහුණා. චූටි දෝණි බිමට වැටිලා. රෝස පාට කම්මුල් දෙකේ කඳුළු කැට. නහයෙන් හොඳටම ලේ ගලනවා.

මම වහාම ඇයව රෝහලට රැගෙන ගියා. අදත් එයාගෙ නහයෙ එදා සිදුවීමේ සලකුණ තියෙනවා. මට එදා නම් මගේ චූටි දෝණි ගැන බය හිතුණා. බොඳ මීදුම් පටල ඉරා පසුගිය දිනයන්හි සංසලා ලෙසින් ඔබේ හදට සමීප වුණේ මේ චූටි දෝණියි. ඇය උදාරි වර්ණකුලසූරිය. උදාරි ගේ බාල කල ගැන අතීත මතකයන් ආවර්ජනය කළේ වර්ණකුලසූරිය ෆ‍්‍රැන්සිස් ග්‍රේෂන් ෆර්නැන්ඩු. ඔහු උදාරි වර්ණකුලසූරියගේ ආදර”ය පියාණන්.

උදාරි පුංචි කාලේ හරිම දග කෙල්ලෙක්. කෙල්ලෙක් වුණාට කොල්ලෙක් කරන වැඩ තමයි කරන්නෙ. ඉස්සර අපේ වත්තේ පේර ගහක් තිබුණා.

දුවටයි පුතාටයි මම පේර ගහට නගින්න එපා කියලා තිබුණෙ. පේර කඩන්න ඕන නම් කෙක්කෙන් කඩන්න කියලත් තිබුණේ. නමුත් අයියයි නංගියි දෙන්නා හැමදාම පේර කඩන්නෙ ගහට නැගලා. දවසක් මගේ අතටම අහු වුණා දුව පේර ගහට නගිනවා. මම එදා නම් එයාට දඬුවම් කළා.

අත් දෙකෙන් පේර ගහේ අත්තක එල්ලිලා ඉන්න කිව්වා. අත් දෙක රිදෙනවා කියලා කෙඳිරි ගාන කොට නම් මට දුක හිතුණා.

පුංචි දවස්වල එයා ස්විමිං, ජිම්නාස්ටික් වගේම ඩාන්සිනුත් කළා. මට හිතෙන විදිහට දුව පොඩි කාලෙදි ලැබූ ඒ අත්දැකීම් එයාට අද තමයි වඩාත් ප්‍රයෝජනවත්. උදාරි පොඩි දවස්වල නම් කිව්වෙ එයා කවදා හරි නර්ස් කෙනෙක් වෙනවා කියලා. දෙන්නා සෙල්ලම් කරන කොට අයියා තමයි ඩොක්ටර්. නංගි, නර්ස්. දෙන්නා හූනු බිත්තර හොයා ගෙන ඒ බිත්තර කඩලා හූනු පැටව් එළියට අර ගන්නවා.

දුව කොච්චර දග කළත් ඉගෙනීමට හරිම දක්ෂයි. එයා ශිෂ්‍යත්ව විභාගයත් හොඳට පාස් වුණා. ශිෂ්‍යත්වය පාස් වුණාම මම දුවගෙන් ඇහුවා එයාට මොනවද අරගෙන ඕන කියලා. එයා මගෙන් ඉල්ලුවෙ මම හීනෙන්වත් බලාපොරොත්තු නොවුණු දෙයක්. දුව මගෙන් ඉල්ලුවෙ එයාට නංගියෙක්. මට ඉතින් එයාට නංගි කෙනෙක් ගෙනත් දෙන්න බෑනේ. මං එයාට ඒ නිසා පියානෝ එකක් අරගෙන දුන්නා. උදාරිට අපූරුවට පියානෝව වාදනය කරන්න පුළුවන්.

දුවගේ කනේ පිපුණ පොල් මලේ කතාව මට කියන්න අමතක වුණානේ. ගෑණු ළමයි කරාබු දාන්න හරිම ආසයිනේ. දවසක් අයියා පොල් මලක් අරගෙන නංගිගේ කනට දාන්න හදලා. දුව හිතලා තියෙන්නෙ අයියා කනට කරාබුවක් දාන විදිහට පොල් මල කනේ රඳවන්න හදනවා කියලා. නමුත් පුතා පොල් මල දාලා තියෙන්නෙ කන ඇතුළට. පුතත් ඒ දවස්වල පොඩියි. අපිත් දන්නේ ඒ සිදුවීම වෙලා දවස් දෙකකට පස්සේ. වහාම මම දුවව රෝහලට අරගෙන ගියා. පොල් මල කොහොම හරි කන ඇතුළෙ පිපිලා.

පොඩි දවස්වල කොච්චර දග වැඩ කළත් මගේ දුව හරිම හොඳ කෙනෙක්. මම අද එයා ඉන්න තැන ගැන හදවතින්ම සතුටු වෙනවා. මගේ චූටි දුවට කවදාවත් වරදින්නෙ නෑ. ඒක මට විශ්වාසයි.




























Source : sarasaviya