Tuesday, September 20, 2011

කේට්‌ කුමරියගේ හද මල පුබුදු කළ පුංචි සුරංගනාවිය


හය හැවිරිදි ඩයමන්ඩ් මාෂල් සිඟිති දියණිය දරුණු පිළිකා රෝගයකින් පෙළෙන්නීය. කැනඩාවේ ජීවත්වන ඇයට තම මව අහිමි වූයේ ද පිළිකා රෝගයට ගොදුරු වීමෙන් මව ද මියගිය නිසාය. අම්මා නැති පුංචි දුවට ආදරය, උණුසුම, සැනසුම වූයේ පියා ලයාල්ය. එහෙත් මේ සියලු බැඳීම්වලට ද තව එතරම් කාලයක්‌ නැත. මන්ද මේ සිඟිති දියණියට දරුණු පිළිකා රෝගයෙන් ම ජීවිතයෙන් සමුගැනීමට එතරම් කාලයක්‌ නැති බව ඇය වටා සිටින සියල්ලෝ දන්නා බැවිනි.

පුංචි පැටවුන්ගේ ලෝකය පුදුමාකාරය. ඔවුන්ගේ සිතුම් පැතුම් විවිධ ය. සුරංගනාවන් පිළිබඳ පුංචි පැටවුන්ට ඇත්තේ සිහිනයක අත්දැකීම් පමණි. එහෙත් පුංචි ඩයමන්ඩ් මාෂල් තමන්ගේ සිහින ලෝකයේදී දුටු සුරංගනාවියකට සැබවින්ම ළං වූවාය. ඇය කල්පනා කළේ කේට්‌ කුමරිය සැබෑ සුරංගනාවියක්‌ කියාය. එංගලන්තයේ ඔටුන්න හිමි කුමරු හෙවත් කේම්බ්‍රි- ආදිපාදවරයා (විලියම් කුමරු) සමඟ කේට්‌ කුමරිය විවාහ වූ ඒ අපූරු මංගල්‍යය පුංචි මාෂල් ද රූපවාහිනිය ඔස්‌සේ දුටුවාය. පසුව ඇය කේට්‌ කුමරියට තම අත් අකුරින්ම ලිපියක්‌ ලිව්වාය.

පුංචි මාෂල් එම ලිපියේ සඳහන් කර තිබුණේ ඇයගේ මව ස්‌වර්ගයේ දී විලියම් කුමාරයාගේ අම්මා (ඩයනා කුමරිය) මුණගැසී තමා ගැන ඇයට පවසන්නට ඇති බවයි. ඒ නිසා විලියම් කුමාරයාගේ අම්මා (ඩයනා කුමරිය) තමා ගැන දන්නවා ඇති යෑයි පුංචි මාෂල් සිය අත් අකුරින් කේට්‌ට ලියූ ලිපියේ සඳහන් කළාය. කේට්‌ කුමරියව හමුවීමට කැමති බවත්, ඇයත් කැමති නම් ඒ හමුවීම සඳහා වේලාවක්‌ යොදා ගැනීම පිළිබඳවත් පුංචි මාෂල් ලිව්වාය.

මේ පුංචි දියණියගේ ජීවිතයේ අවසන් හෝරා කිහිපයේ වටිනාකම හොඳින් වටහා ගත් කැනඩාවේ ක‍යසකාරුබ~ි උසිය (චිල්රන් විෂ්) පදනම ඇයගේ ලිපිය කැනඩා සංචාරයකට එක්‌ වුණු විලියම් - කේට්‌ යුවළට දැන්වීය.

සිහින ලෝකයේ දුටු සුරංගනාවියක්‌ තරමටම ලස්‌සන කේට්‌ කුමරිය පුංචි මාෂල් වෙතට පැමිණියාය. පිළිකා රෝගයෙන් පසු හිස කෙස්‌ සිඳී ගොස්‌ මුඩු ගැන්වූ හිසෙහි පැළඳි රෝස පැහැති පළඳනාවෙන් පුංචි මාෂල්ගේ මුහුණේ අහිංසක සුන්දරත්වය දෙගුණ තෙගුණ කෙරිණි. එංගලන්තයේ ඔටුන්න හිමි විලියම් කුමරුගේ දයාබර බිරිඳ, කේට්‌ කුමරිය රැස්‌ව සිටි පිරිසගේ දැස්‌ කඳුළින් තෙත් කරමින් දැඩි කරුණාවකින් යුතුව පුංචි මාෂල් දැරිය ආදරයෙන් වැළඳ ගත්තාය.

සිදුවන සියල්ල දෙස බලාසිටි විලියම් කුමරුගේද නෙතඟින් කඳුලක්‌ වැටුණු අයුරු පුංවි මාෂල් නොදුටුවාය.

මේ සිදුවීමත් සමඟම අපට සිහි වන්නේ කේට්‌ කුමරියගේ නැන්දණිය නැතහොත් විලියම් කුමරුගේ මව වන ඩයනා කුමරියයි. ඇය මුළු ලෝකයේම සිටින දරුවන්ගේ සතුට වෙනුවෙන් කැප වුණු ලෝක ප්‍රකට කාන්තාවකි. එංගලන්තයේ රජ මැඳුරට එක්‌ වුණු කේට්‌ කුමරිය ද පිරිපුන් මනුෂ්‍යත්වයන් යුතු අතිශය සංවේදී තැනැත්තියක වීම කෙතරම් අගනේද.....?

කේට්‌ කුමරිය සිය දයාබර සැමියා, ඔටුන්න හිමි කුමාරයා සමඟ විවාහයෙන් පසු ප්‍රථම විදේශ සංචාරයේ දීම ලෝක වාසී දරු පරපුර වෙනුවෙන් මෙවැනි උතුම් ආදර්ශයක්‌ සැපයූ ඇයගේ මිනිස්‌කමේ මහිමය ඇගයිය යුතුය. මරණයේ දොරකඩ අබියස සිටින පුංචි මාෂල් දියණිය තම සිහින ලෝකයේ සුරංගනාවිය දැකීමෙන් ලද ඉමහත් සතුට ඒ සිඟිති දියණියගේ දැස්‌ අග දිළුණු අයුරු කේට්‌ කුමරියට කිසිදා අමතක නොවනු ඇත.

කේට්‌ කුමරියගේ සංවේදිකමේ උත්තරීතර බව අත් විඳින්නට කැනඩාවේ පුංචි මාෂල් වාසනාවන්ත වූවාය. මරණයේ දොරකඩ අභියස සිටියත් ඇයව සතුටු කරන්නට එංගලන්තයේ මහ රජමාළිගාවේ සුරංගනාවිය ඇය වෙතට පැමි”යාය.

අපේ රටේ ද මෙවැනි මල් කැකුළු පිළිකා රෝගයේ ගොදුරු බවට පත්වෙමින් අකාලයේ මරු තුරුළු කර ගන්නේ පැතුම් ගොන්නක්‌ හිත තුළ තෙරපාගෙනය. අපේ පැටවුන්ගේ සිත්වලට සැනසුමක්‌ වන්නට සුරංගනාවියක්‌ කවදා පැමිණේවිද.....




Source: Divaina