Thursday, September 15, 2011

හිරේ සිට ඉල්ලන කප්පම් එකතු කරන්න බිරිඳ යවලා


වැලිකඩ බන්ධනාගාරයේ සිර දඬුවම් ලබන ප්‍රසිද්ධ වංචාකරුවකු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරියකු ලෙස පෙනී සිටිමින් කොළඹ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන්ට දුරකථනයෙන් කතා කර තර්ජනය කරමින් රුපියල් ලක්‍ෂ ගණනින් කප්පම් මුදල් ලබාගැනීම පිළිබඳව තොරතුරු හෙළිකර ගත් කොළඹ අපරාධ කොට්‌ඨාසය එම වංචාකරුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන ඇත. බන්ධනාගාරගතව සිටින සිය සැමියාගේ උපදෙස්‌ මත විවිධ ව්‍යාපාරිකයන් මුණගැසී මුදල් සහ වටිනා දේපොළ කප්පම් වශයෙන් ලබාගෙන ඇත්තේ ඔහුගේ බිරිඳ බව පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

මහාපරිමාණ වංචාවක්‌ සම්බන්ධයෙන් වරදකරු වූ මෙම පුද්ගලයා වසර 4 ක සිර දඬුවම් ලබන අයෙකි. මොහු ජංගම දුරකථන සිම්කාඩ්පත් 25 කට අධික ප්‍රමාණයක්‌ පාවිච්චි කරන අතර ඒවා යොදාගෙන කොළඹ නගරයේ විවිධ ව්‍යාපාරිකයන්ට දුරකථන ඇමතුම් ලබා දී තර්ජනය කර ඇත.

තමන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ උසස්‌ නිලධාරියකු බව පවසා ආදායම් බදු ගෙවීම පැහැර හැර ඇති ව්‍යාපාරිකයන්ට ඇමතුම් ලබාදී ඔවුන්ගෙන් රුපියල් ලක්‍ෂ ගණනින් කප්පම් මුදල් ලබාගන්නා බව හෙළි වී තිබේ.

එසේ ලබාගන්නා මුදල් තම බිරිඳගේ බැංකු ගිණුමට බැරකරන ලෙස තර්ජනය කර ඇති වංචාකරු ඇතැම් ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් වශයෙන් වටිනා විදුලි උපකරණ ද ලබාගෙන ඇති බව පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත.

කොළඹ තිඹිරිගස්‌යාය ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයකුට මාස කීපයක්‌ තිස්‌සේ තර්ජනය කර ඇති මෙම සැකකරු ඔහුගෙන් අවස්‌ථා කීපයකදී රුපියල් පන්ලක්‍ෂයකට අධික මුදලක්‌ කප්පම් වශයෙන් ලබාගෙන ඇත.

වංචාකරු සිය බිරිඳ ව්‍යාපාරිකයා වෙත යවා ඔහුගෙන් රුපියල් එක්‌ලක්‍ෂ පනස්‌දහසක්‌ වටිනා විදුලි උපකරණ ද ලබාගෙන තිබේ.

මේ ආකාරයට මෙම වංචාකරු කොළඹ නගරයේ ධනවත් ව්‍යාපාරිකයන් පස්‌දෙනකුට තර්ජනය කරමින් රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් ලබාගෙන ඇති බව හෙළිදරව් වී ඇත.

කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක මහතාට ලැබුණු තොරතුරකට අනුව අපරාධ කොට්‌ඨාසය මගින් කළ වැටලීමකදී සැකකාර කාන්තාව කොටුකර ගැනීමට හැකිවිය. බන්ධනාගාරගතව සිටින වංචාකරුට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරගෙන යන බව පොලිසිය පවසයි.


හේමන්ත රන්දුණු 
Source: Divaina