Wednesday, November 30, 2011

දිවයිනට පැමිණි පසු දුමින්දව අත්අඩංගුවට ගන්නවා


කොටිකාවත්ත - මුල්ලේරියාව ප්‍රදේශයේ සිදුවූ වෙඩි තබා ගැනීමෙන් මියගිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනාගේ ඝාතනයට අදාළව සැකකරුවකු ලෙස නම්කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා දිවයිනට පැමිණි පසු අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බව අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (29 දා) කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

අතිරේක මහෙස්‌ත්‍රාත් ප්‍රසන්න අල්විස්‌ මහතා හමුවේ සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්‌ථාවේදී වැඩිදුර වාර්තාවක්‌ ගොනු කරමින් එසේ කියා සිටි අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව සැකකාර දුමින්ද සිල්වා අත්අඩංගුවට ගැනීමට නීතිපති උපදෙස්‌ ලබා ගැනීමට කටයුතු යොදා ඇති බවත් පැමිණිල්ලට අදාළව නීතිපති උපදෙස්‌ ලබා ගැනීමට නීතිපතිවරයා විසින් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයකු පත්කර ඇති බවත් එම නීතිඥ මහතා සමග සාකච්ඡා කර ඉදිරි පියවර ගන්නා බවත් දන්වා සිටියේය.

වෙඩි තබා ගැනීමේදී තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබාගත් දුමින්ද සිල්වා මහතා පරීක්‌ෂා කළ අධිකරණ වෛද්‍ය නිලධාරී අයන්ති විඡේසේකර මහත්මියගෙන් ප්‍රකාශ ලබාගෙන වෛද්‍ය වාර්තා පිටපත් ලබා ගැනීමක්‌ සිදුකළ බවද දැන්වූ අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව මුල්ලේරියාවේදී සිදුවූ වෙඩි තබා ගැනීමට පෙර දුමින්ද සිල්වා මහතා පිටුපසින් සැකකරුවන් පැමිණි හා වෙඩි තබාගැනීමෙන් පසු සැකකරුවන් පලායැමට යොදාගත් ජීප් රථයක්‌ හා කාර් රථයක්‌ දෙමටගොඩදී අත්අඩංගුවට ගෙන ඇති බවත්, සිද්ධියට අදාළව රැඳවුම් නියෝග මත රඳවා සිsටින සැකකරුවකු ලබාදුන් ප්‍රකාශ මත මැදවච්චිය, හොරොව්පොතාන ප්‍රදේශයේ සොහොන් බිමක වළ දමා තිබූ රිවෝල්වරයක්‌ හා එහි උණ්‌ඩ 9 ක්‌ සොයා ගත් බවත් දන්වා සිටියේය.

මෙහි සැකකරුවකු වන ගලබොඩ නමැති අයගේ බිරිඳ විසින් ඔහුව පැහැරගෙන යැමක්‌ පිළිබඳව කර ඇති පැමිණිල්ලක්‌ අනුව පරීක්‌ෂණ පවත්වන බවද කියා සිටි අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව දැනට රක්‌ෂිත බන්ධනාගාර ගතකර ඇති පොලිස්‌ කොස්‌තාපල් ඩබ්ලිව්. ඒ. තුෂාර ද මෙල් සැකකරුව තවදුරටත් රක්‌ෂිත බන්ධනාගාර ගතකර තබන ලෙසත්, සිද්ධියට අදාළව පවත්වන පරීක්‌ෂණයේ ප්‍රගතිය දැනුම්දීමට ඉදිරි දිනයක්‌ ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියේය.

මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන ඇති එච්. කේ. චන්දන ජගත් කුමාර, එස්‌. පී. චමින්ද රවි ජයනාත්, මංජුල ප්‍රසාද් හෙට්‌ටිආරච්චි, කේ. ඒ. ලංකා රසාංජන, සී. එච්. එම්. සප්රාස්‌, වී. ඒ. මාලක සමීර, එච්. චරිඳු අසංක, විදාන ගමගේ අමිල, සංජය මධුසංක සිල්වා, ඩී. එච්. ජනක ප්‍රියන්ත බණ්‌ඩාර, එම්. බී. එස්‌. ප්‍රේමලාල්, ඩී. එස්‌ කුමාර නමැති සැකකරුවන් රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරන බවද ඔවුන් ඉදිරියේ දී අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවද අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව මහෙස්‌ත්‍රාත්වරයාට දන්වා සිටියේය.

එහිදී දුමින්ද සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා කරුණු දක්‌වමින් තම සේවා දායකයාගේ රෝගී තත්ත්වය ඇතුළත් වෛද්‍ය වාර්තා ලබාදෙන ලෙසට ඉල්ලා සිටියේය.

මහෙස්‌ත්‍රාත්වරයා - දුමින්ද සිල්වා සැකකරුවකු ලෙස නම්කර තිබෙනවා. ඔහු අසාධ්‍ය තත්ත්වයක සිටී නම් ඔහු වෙනුවෙන් පෙනී සිටීමට නීතිඥවරයාට දැනුම් දුන්නේ කෙසේද? ඒ සඳහා ලිඛිත දැනුම් දීමක්‌ තියෙනවාද?

ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය - මා පෙනී සිටින්නේ දුමින්ද සිල්වාගේ පවුලේ අයගේ උපදෙස්‌ මත. ඒ සඳහා ශේ්‍රෂ්ඨාධිකරණ තීන්දුවක්‌ ලබාදී තිබෙනවා. එය ඉදිරියේදී ඉදිරිපත් කරනවා ස්‌වාමීනි.

මහෙස්‌ත්‍රාත්වරයා - විත්තිය වෙනුවෙන් පැමිණිල්ලේ සටහන් ලබාගත හැකියි. ඒ මහාධිකරණයේ චෝදනා ගොනුකළ පසු. තාම පැමිණිල්ල විමර්ශන තත්ත්වයේ තියෙන්නේ.

ඝාතනයට ලක්‌වූ භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ පවුලේ ඥතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ටිරන්ත වළලියෑද්ද මහතා කරුණු දක්‌වමින්, සැකකරුවකු ලෙස නම්කර ඇති දුමින්ද සිල්වා තවම අත්අඩංගුවට ගෙන නැත්තේ මන්දැයි අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න කර සිටියේය.

ඉදිරිපත් වූ කරුණු කෙරෙහි සැලකිලිමත් වූ මහෙස්‌ත්‍රාත්වරයා දුමින්ද සිල්වා සැකකරුගේ වෛද්‍ය වාර්තා ඉල්ලා ඔහුගේ නීතිඥයන් කළ ඉල්ලීම ප්‍රතික්‌ෂේප කරමින් සැකකාර පොලිස්‌ කොස්‌තාපල් තුෂාර ද මෙල් ලබන 13 දා තෙක්‌ තවදුරටත් රක්‌ෂිත බන්ධනාගාරගත කර තබන ලෙසත් නියෝග කළේය.

සිද්ධියට අදාළව සොයා ගෙන ඇති නඩු භාණ්‌ඩ රස පරීක්‌ෂකවරයා වෙත යොමු කිරීමේ විශ්ලේෂණ වාර්තාවට අවසර ලබාදුන් මහෙස්‌ත්‍රාත්වරයා පැමිණිල්ල යළි 13 දා කැඳවන ලෙසත් එදිනම පරීක්‌ෂණයේ ප්‍රගතිය ඇතුළත් වාර්තාවක්‌ ගොනුකරන ලෙසත් නියෝග කළේය.



Source :- Divaina