Monday, December 26, 2011

මගේ පෙම්වතා ගැන කියන්නම්
























මේ දිනවල ජාතික රූපවාහිනියෙන් විකාශය වන ”ඉසිවර රණකෙළි” ටෙලි නාට්‍යයේ ඕෂිනී ඇයයි. එසේම සිරස රූපවාහිනියෙන් විකාශය වන ”ආදරේ අහස තරම්” ටෙලි නාට්‍යයේ දිනුෂා ද ඇයයි. රංගන ක්ෂේත්‍රයට පැමිණ ඉතා කෙටි කාලයක් තුළ තම රංගන හැකියාව නිර්මාණ කීපයක් තුළින්ම මනාව පෙන්වීමට සමත් වූ ඇය උත්පලා මධුශානි.

උත්පලා කොහොමද මේ දවස්වල ඔබේ කාලය ගත වෙන්නේ?

මේ දවස්වල ‘සංසාර ප්‍රාර්ථනා’ ටෙලි නාට්‍යයේත් ‘ආදරේ අහස තරම්’ ටෙලි නාට්‍යයේත් රූපගත කිරීම්වලට සහභාගි වෙනවා.

ඔබ රංගනයට පැමිණි ආකාරය සිහිපත් කළොත්...?

2007 වසරේ පැවැති සිරස කුමරිය තරගයේ “ඡවි කල්‍යාණිය” කොටසේ දෙවැනි ස්ථානය හිමිවුණේ මට. ඉන්පසුව මම සිරස නාලිකාවම නිර්මාණය කළ “පතිනි” ටෙලිනාට්‍යයේ රංගනයට එක්වුණා. ඒක තමයි මගේ පළමු රංගනය. සිරස කුමරිය තරගයට මගෙ නම දාල අයදුම්පතක් යැව්වෙ මගෙ ඥාතිඅක්කා කෙනෙක්. ඒ විදියට තමයි මම කලාවට පිවිසුණේ. මම කලාවට පැමිණීම තරමක අහම්බයක්.

ඔබේ පාසල් කාලය ගෙවුණේ කොහොමද?

මගෙ ගම රත්නපුරය කුරුවිට. පාසල් ගියේ කුරුවිට මධ්‍ය මහා විද්‍යාලයට. පාසල් යන කාලයේ රංගනයට ආශාවක් හිතේ තිබුණේ නෑ. හැබැයි නැටුම්වලට ගොඩක් ආශා කළා. නැටුම් ගුරුවරියක් වීම තමයි මට පුංචි කාලෙ තිබුණු හීනය. පාසලේ නැටුම් අංශයෙන් පැවැත්වුණු සෑම වැඩසටහනකටම මම සහභාගි වුණා. නර්තනය පැත්තෙන් යමක් කිරීමේ ආශාව මට තවමත් තියෙනවා.

’ආදරණීය පූර්ණිමා’ ටෙලිනාට්‍ය ඔබේ රංගන දිවියට ආලෝකයක් නේද?

ඇත්තෙන්ම ඔව්. ‘ආදරණීය පූර්ණිමා’ මගෙ පළමු ටෙලිනාට්‍යය නෙමෙයි. නමුත් එහි මම කළ සඳුනි කියන චරිතය නිසා තමයි ප්‍රේක්ෂකයින් මාව හඳුනා ගත්තේ. මගේ රංගන හැකියාව මතුවුණේ ඒ චරිතයෙන්. “ආදරණීය පූර්ණිමා” ටෙලිනාට්‍යය අවසන්වෙලා කලක් ගත වුණත් එහි මගේ රංගනය ප්‍රේක්ෂකයින්ට තාම මතකයි.

සැබෑ ජීවිතයේදීත් ඔබ සඳුනි වගේද?

ගොඩක් දුරට සමානයි.

ඔබ දක්ෂ නර්තන ශිල්පිනියක් වෙලත් පසුගිය කාලෙ පැවැත්වුණු නර්තන තරගාවලිවලට ඔබ සහභාගි නොවුණේ ඇයි?

ඒ නර්තන වැඩසටහන්වලට මටත් ඇරයුම් ලැබුණා. ඒත් මම ඒවාට සහභාගි නොවුණේ මගේ ප්‍රතිපත්තිවලට එම නර්තන වැඩසටහන් නොගැළපෙන නිසයි.

ඔබ රූපවාහිනී වැඩසටහන් නිවේදිකාවක ලෙසත් කටයුතු කළා නේද?

ඔව්. ස්වර්ණවාහිනි නාලිකාවේ “රසලිය” වැඩසටහන මම වසර 2 ක් පුරා නොකඩවා ඉදිරිපත් කළා. මම හරිම ආශාවෙන් ඒක කළේ. ඒත් රංගන කටයුතු නිසා මම එයින් ඉවත් වුණා. මට හිතෙනවා වැඩි හැකියාවක් මා තුළ තියෙන්නෙ රංගනයට කියලා.

රංගනය පැත්තෙන් ඔබේ ඉලක්කය කුමක්ද?

ජනපි‍්‍රයත්වය පසුපස යාම මගේ අරමුණ නෙමෙයි. විවිධ චරිත රඟපෑම තමයි මගේ තිබෙන ආශාව, ඉලක්කය. මේ දවස්වල රූපගත කිරීම් සිදු කෙරෙන ‘සංසාර ප්‍රාර්ථනා’ ටෙලි නාට්‍යයේ මම චරිත 4 ක් කරනව. මෙය මට ජීවිතයේ ලැබුණු අගනා අවස්ථාවක්. මේ නිර්මාණය මම භාර ගත්තේ එහි මට යමක් කරන්න තියෙනවා කියන විශ්වාසය නිසයි.

ඔබ කලා ක්ෂේත්‍රයේ දිගටම රැඳී සිටිනවාද?

නැහැ. මගේ බලාපොරොත්තුව විවාහයෙන් පසුව මේ ක්ෂේත්‍රයෙන් ඉවත් වෙන්නයි. සමහරවිට ලබන අවුරුද්දේ මගේ විවාහය සිදුවේවි. කලා කටයුතුවලින් මම ඉවත් වෙන්නේ හොඳ පවුල් ජීවිතයක් ගත කිරීමට මට අවශ්‍ය නිසයි. ඒක මගේ පෞද්ගලික තීරණයක්.

ඇයි ඔබේ පෙම්වතා ඔබ රඟපානවට අකැමැතිද?

නැහැ. ඔහුගේ කිසිම අකැමැත්තක් නැහැ මම රඟපානවට. නමුත් මම හිතනව විවාහයෙන් පසුව රංගනයට වඩා පවුල් ජීවිතයට මුල්තැන දීම සුදුසුයි කියලා.

ඔබේ පෙම්වතා කවුද?

ඔහු රංගන ශිල්පියෙක් නෙමෙයි. හැබැයි කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වුණ කෙනෙක්. ලබන වසරේ අග වන විට ඔහු ගැන කියන්නම්.

මොනවද ඔබේ පවුලේ තොරතුරු?

මට සහෝදරයකුට ඉන්නේ අයිය විතරයි. මගෙ තාත්තයි අයියයි දෙන්නාම ඉන්නෙ පිටරට රැකියාවල නිරත වෙලා. අම්මයි මමයි තමයි ගෙදර ඉන්නේ.

ඔබේ කලා දිවියට පවුලේ උදවියගෙන් ලැබෙන සහයෝගය...?

මගෙ අම්ම තමයි මට හෙවණැල්ල වගේ ඉන්නෙ. මම කලා ක්ෂේත්‍රයේ ඉන්නව දකින්න මගෙ අම්මට මම පුංචි කාලෙ ඉඳලම ආශාවක් තිබිල තියෙනව. තාත්තා මම කලා කටයුතුවල යෙදෙනවට වැඩි කැමැත්තක් දැක්වූවේ නැතත් දැන් තාත්තත් එතරම් විරුද්ධත්වයක් නෑ. තාත්තා මගේ නිර්මාණ අන්තර්ජාලයෙන් නරඹනවා.

ඔබ රඟපෑ ‘වියපත් බඹරා’ චිත්‍රපටය ගැන කතා කළොත්..?

මම රංගනයෙන් දායක වුණු පළමු චිත්‍රපටය තමයි එය. නමුත් ඒ චිත්‍රපටයට සම්බන්ධ වීම ගැන මම දැන් දුක් වෙනවා. ඒකට හේතුව තමයි ඒ චිත්‍රපටයේ ප්‍රචාරක වැඩ කටයුතුවලින් මගේ ප්‍රතිරූපයට හානියක් සිදුවීම. ඒකට නීතිමය පියවර ගන්න කියල ගොඩක් දෙනෙක් මට කිව්වත් එච්චර ඒ පසුපස එළවන්න මට හිතුනෙ නෑ
.




Source : Silumina