Friday, January 27, 2012

වෑන් රියක්‌ ගිනි ගෙන 4 ක්‌ පිළිස්‌සී මිය යති

මෙම ඛෙදජනක සිද්ධියෙන් අනතුරට ලක්‌වූ පිරිස හඳපාන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. මොවුන් බේරුවල මාගල්කන්ද ප්‍රදේශයේ ඥාතියකුගේ අවමඟුලකට සහභාගි වී ආපසු හඳපාන්ගොඩ ප්‍රදේශය බලා යමින් සිටියදී අනතුර සිදුවී ඇති බව පරීක්‍ෂණවලදී හෙළිවී ඇත.
රාත්‍රි 12.45 ට පමණ වෑන් රථය උතුරු කළුතර ඇලමෝදර ප්‍රදේශයට ළඟාවෙද්දී  වෑන් රථය නතර වී ඇත.

ඒ අවස්‌ථාව වනවිට වෑන් රථයේ බොහෝ දෙනකු නින්දට ගොස්‌ සිටියහ. රියෑදුරු වෑන් රථයෙන් බැස කාර්මික දෝෂය පරීක්‍ෂා කරමින් සිටියදී එක්‌වරම වෑන් රථයේ එන්ජිමේ ගින්නක්‌ හටගෙන ඇත.

වෑන් රථය තුළ තිබූ පෙට්‌ට්‍රල් ගැලුම් දෙකට ගිනි ඇවිලීම නිසා එය සැණෙකින් මහා ගින්නක්‌ බවට පත්විය. වෑන් රථය ඉදිරිපස කොටසේ සිටි කුඩා දරුවන් තිදෙනකු සහ වැඩිහිටියන් තිදෙනකු ඉවතට පැන දිවි ගලවාගත් අතර පිටුපස අසුන්වල සිටි පිරිස ගින්නට හසුවී ඇත.

මෙම පිරිසගේ විලාපය ඇසී ප්‍රදේශවාසීන් පිරිසක්‌ එහි පැමිණ වෑන් රථය තුළ සිරවී පිළිස්‌සෙමින් සිටි පිරිස බේරාගැනීමට දැඩි උත්සාහයක්‌ ගත්ත ද එය ව්‍යර්ථ විය.

මෙම සිද්ධිය සැලවූ වහාම ක්‍රියාත්මක වූ කළුතර උතුර පොලිස්‌ ස්‌ථානාධිපති අජිත් පිටිගල මහතා ඇතුළු නිලධාරීහු පිරිසක්‌ එම ස්‌ථානයට පැමිණ ගිනි නිවන රථයක්‌ ද ගෙන්වා වෑන් රථයේ ඇතිවූ මහා ගින්න නිවා දැමීමට කටයුතු කළහ.

එහෙත් ඒ වනවිටත් එහි පිටුපස ඇසුනේ සිටි සය හැවිරිදි හා එකොළහ හැවිරිදි වියේ පසුවූ පිරිමි දරුවන් දෙදෙනා සහ කාන්තාවන් දෙදෙනා දැවී පිළිස්‌සී මිය ගොස්‌ සිටි බව පොලිසිය පවසයි.

පිළිස්‌සුම් තුවාල ලබා සිටි හත් දෙනෙකු කළුතර නාගොඩ රෝහලට යෑවීමට පොලිසිය කටයුතු කර තිබේ.

අනතුරින් මියගිය කුඩා දරුවන් දෙදෙනා වෑන් රථයේ රියෑදුරුගේ පුත්‍රයන් බව හඳුනාගෙන ඇත. මියගිය අනෙක්‌ දෙදෙනා මවක්‌ සහ දියණියක්‌ බව ද පොලිසිය පවසයි.

මෙසේ අවාසනාවන්ත ලෙස මරුමුවට පත්ව ඇත්තේ 56 හැවිරිදි එන්. කුසුමලතා ඇගේ දියණිය වන 34 හැවිරිදි ඉඳුනිල් නිලහාරී, 6 හැවිරිදි චමෝද් නදීෂ් සහ 11 හැවිරිදි ඩිලාන් යන අය බව හඳුනාගෙන ඇත.











source : divaina